Wednesday, July 26, 2017

අතැඹුලේ ගුණ වරුණ



ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස අඩංගු රස පහකින් යුක්ත "පංචරයා " යන නාමය පටබැඳි ගුණවත් පලතුරකි. මෙය ලවණ රසය හැර අන් සියලු රසයන්ගෙන් පරිපූර්න වේ.

නෙල්ලි ශාඛය මීටර් 10 ක් පමණ උසට වැඩේ. සිංහල නාමයෙන් ඇඹුල ලෙස ද දෙමලින් නෙල්ලිකායි ලෙස ද ඉංග්‍රීසියෙන් Indian Goosbery යන නාමයෙන්ද හදුන්වයි.

නෙල්ලි ශාඛය තෙත් පහත් බිමිවල සුලබව දක්නට ලැබේ. නෙල්ලි ශාඛයේ අමු හා වියලි ගෙඩි, කොළ, පොතු, මල් හා ඇට ද ඖෂධ වශයෙන් ගනී.


නෙල්ලි ඇසට හිතකර, කෙස් වැවීමට උපකාරීවන ⁣ඖෂධයකි. හෘදය ශක්තිමත් කරයි, ලේ පිරිසිදු කරයි, කෑම අරුචිය නසයි.


  • නෙල්ලි රසකිඳ තම්බා වතුර දිනපතා පානය කිරීමෙන් ලේ ධාත්ව පිරිසිදු කර දාහය නිවා නීරෝගිමත් ශරීරයක් ඇති කරයි.
  • මුඛයේ තුවාලවලට නෙල්ලි කොළ තැම්බූ වතුරින් කට සේදීම ගුණය.
  • ශරීරගත සුද යාමේ රෝගයට නෙල්ලි පිටි හෝ යුෂ මී පැණි දමා බීම හොදය.
  • අර්ශසයට නෙල්ලි, රසකිද එකට අඹරා එම කල්කය එලමෝරු දමා බීම ගුණය. 
  • වාත රක්තයට නෙල්ලි යුෂය ගිතෙල් සමඟ කාරා බොන්න
  • මූත්‍රා දාහයට නෙල්ලි යුෂයට කහකුඩු දමා බීම හොදය. 
  • මූත්‍රා අඩස්සියට නෙල්ලි උණු වතුරින් අඹරා යටි බඩේ ගාන්න.
  • නාසයෙන් ලේ යාමට නෙල්ලි ගිතෙලින් බැඳ අඹරා හිසේ ගාන්න.

Wednesday, July 19, 2017

විලියම් වර්ඩ්ස්වර්ත්




Daffodils නමැති කවි පංතිය අසා ඇති සියළු දෙනාට William wordsworth නමැති මහා කවියාත්, ඔහු⁣ගේ  කාව්‍ය ප්‍රතිභාවත් සිහියට නැගෙනු ඇත. 1770 අප්‍රියෙල් 07 වන දින එංගලන්තේ" කොකර්මවුත්" හි උපත ලද ඔහු වයස අවුරුදු අටක් වන කුඩා අවදියේ ජීවිතේ  මහා අභාග්‍යයකට මුහුණ දෙන ලදි. ඒ ඔහුගේ මව ඔහුව අතහැර සදහටම මෙලොවින් නික්ම යාමයි. එහෙත් ඒ අභාවය පසුකාලීනව කාව්‍යකරණයට එලඹීම සඳහා ඔහුට මහත් පිටුබලයක් සැපයීය

විලියම් මූලික අධ්‍යාපනය"හොක්ස්ශේඩ්" පාසලට ඇතුලත් විය. එහිදී ඔහුගේ කාව්‍යකරණය වඩාත් මුවහත් විය, පරිනත විය. මෙකල විලියම්ගේ ජීවිතයේ තවත් අභාග්‍යසම්පන්න ඉරනමකට මුහුණ දුන්නේය. ඒ ඔහුගේ පියාද ඔහු ඇතුළු සොයුරන් සිව්දෙනා හැරයාමයි.

හොක්⁣ශේඩ් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව විලියම් වැඩිදුර ඉගෙනීම සඳහා කේම්බ්‍රිජ්හි ශාන්ත ජෝන් පාසලට ඇතුලත්වන ලදි. ඒ කාලයේ ඔහු යුරෝපා සංචාරයක් සඳහා භාග්‍ය ලද්දේය. ඉන් ලඳ අත්දැකීම්වලින් ඔහු තම කාව්‍යකරණය හා දේශපාලනික ක්‍රියාකාරකම් ඔපමට්ටම් කර ගත්තේය. ප්‍රංශ නිදහස් සටන වෙනුවෙන්ද ඔහු තම දායකත්වය සපයා තිබේ. පීඩිත ජනයා දෙස අනුකම්පාවෙන් බැලීමට පුරුදු වූ ඔහු ඔවුන් වෙනු⁣වෙන් හඬ නැගීමට ද අමතක නොකලේය. කාව්‍යකරණයේ දිගු ගමනක් යාම සඳහා මේ සියළු අත්දැකීම් ඔහුට ඉවහල් විය.

ඔහුගේ ප්‍රථම කාව්‍යයන් වූයේ " An evening walk"හා "Descriptive sketches" වේ. මෙම කාව්‍යයන් 1793 ඔහු ප්‍රංශයේ ජීවත්වන කාලයේදී එලිදක්වන ලදි. මේ කාලයේදී ඔහු කැ⁣රෝලින් නමැති දියණියගේ් පියා බවට පත් විය. 1802 දී ප්‍රංශටයන් පිටත් වූ ඔහු නැවතත් තම සහොදරිය සමඟ පුංශයට පැමිණියේය.  1812 දී ඔහු තම පාසල් අවදියේ මිතුරියක වූ මාරි හචින්සන් නමැති කාන්තාව සමඟ විවාහ විය. එම විවාහයෙන් ඔහු පස්දරු පියෙකු බවට පත් විය. පසුකාලීනව ඔහුගේ කැතලීන්
 සහ ජෝන් යන දරු දෙදෙනා මියගොස් තිබේ.

1775 දී විලියම්ට Samuel Taylor Coleridge නමැත්තා මුනගැසුනේය. ඔවුන් දෙදෙනා එක්ව "Lyrical Ballads" නම් ප්‍රකාශනය එළිදක්වා තිබේ. විලියම් විසින් රචිත බොහෝ කවිවල බටහිර සංස්කෘතිය පිළිබඳ විචාරාත්මක සිතුවිලි ගැබ්වී තිබේ. විලියම්ගේ වඩාත් ජනප්‍රිය කාව්‍ය සංග්‍රහය වූයේ 1850 දී රචිත Prelude ග්‍රන්ථයයි. ඒ සඳහා ඔහුට සම්මාන රාශියක් හිමි විය. එසේම මෙම ග්‍රන්ථය කිහිප වරක්  ප්‍රතිසංශෝධනය කර තිබේ.

විලියම් තම ජීවිතයේ සැදෑ  සමයේදී Rydal Mount නමැති ස්ථානයේ ජීවත් වී තිබේ. එහිදී විදේශ සංචාරවල නියැලෙමින් විනෝද වී තිබේ. 1847 දී ඔහු වැඩිපුරම ආදරය කළ සේරා නමැති දියණිය අභාවයට පත් විය. ඒ හේතුවෙන් ඔහු තුළ තිබූ කවි ලිවීමේ ආශාව මදින් මද ගිලිහී ගියේය. 1950 අප්‍රේල් 23 විලියම් වර්ඩ්ස්වර්ත් නමැති කවියා සදහටම මෙලොවින් සමුගත්තේය.



Sunday, July 16, 2017

ජපන් නාට්‍ය කලාව

  
බැලු බැලු අත නෙක විසිතුරු රටාවන්ගෙන්, වර්ණයන්ගෙන් සැදුම්ලත් ජපානයේ සාම්ප්‍රදායිකව පැවතෙන නාට්‍ය කලාවක් දක්නට ලැබේ. ඉතිහාසය පුරාවටම ජපානය වෙනත් රටවලින් තාක්ෂනය, සිරිත් විරිත් මෙන්ම කලා ශිල්ප ආදියේ ආභාෂය ලබාගෙන තිබේ. ඒවා ඒකරාශී කොටගෙන ජපානයට සුවිශේෂී වූ සංස්කෘතියක් ගොඩනගාගෙන තිබේ. ජපානයේ අද ජීවන රටාව සාම්ප්‍රදායික ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ මනා සංකලනයක් ලෙස හැදින්වීම නිරවද්‍ය වේ.ජපානයේ ඉතා උසස් තත්වයක් හිමිවන නාට්‍ය අතර ,

  • කබුකි
  • නෝ
  • ක්යෝගෙන්
  • බුරන්කු 

කබුකි (KABUKI)
17 වන සියවසේ මුල් භාගයේදී ආරම්භ වූ කබුකි නාට්‍ය, රංගන ශිල්පීන්ගේ ලාලාත්‍යමය වූ කතා විලාෂය, නෙත් ඇදගන්නාසුළු ඇදුම් ආයිත්තම් හා රූපලාවන්‍ය ක්‍රම මෙන්ම වේදිකාවේ රංගනය තීවෘ කිරීමට යොදාගන්නා කාර්මික ක්‍රමෝපායන්ගෙන්ද සමන්විත වේ. ශිල්පීන් හැඩගන්වන රූපලාවන්‍ය ක්‍රම නිසා ඔවුන්ගේ චරිත මෙන්ම මනෝභාවද උද්දීපනය වෙයි. කබුකි නාට්‍ය මධ්‍යකාලීන මාතෘකා පදනම් කරගෙන ඇති අතර ගැහැනු චරිත රඟදක්වන්නේද  පිරිමි අයයි. 
ක්යෝගෙන් (KYOGEN)
බුන්රකු (BUNRAKU)

දැක්විය හැකිය.


නෝ (NOO)
ජපානයේ පැරණිම සංගීත නාට්‍ය ක්‍රමයයි. මෙම නාට්‍යවලට දෙබස් පමණක් නොව ගායනය, සංගීතය හා නැටුම් ඇතුලත් වේ. මෙහි තවත් විශේෂාංගයක් නම් වර්ණවත් ඇඳුමකින් සැරසී සිටින ප්‍රධාන නළුවා තීන්ත ගා ඔප දැමූ දැවමය වෙස් මුහුණක් පැලදීමයි. මෙම වෙස් මුහුණ වයෝවෘද්ධ තැනැත්තෙකු හෝ මහළු කාන්තාවක් , දෙවි කෙනෙක්, හොල්මනක් හා තරුණයෙක් වැනි චරිත නිරූපනය කරයි.




සාම්ප්‍රදායක විකට නාට්‍ය විශේෂයකි. මෙම නාට්‍යවල ක්‍රියා හා දෙබස් විශේෂ ශෛලියකට අනූව රඟ දක්වයි. නෝ නාට්‍ය අතරතුර මේ නාට්‍ය රඟදැක්වූවත් දැන් දැන් ක්යෝගෙන් නාට්‍ය පමණක් ප්‍රදර්ශනය කරන අවස්ථාද ඇත.




16 වන සියවසේ අඟ භාගයේදී ජනප්‍රිය වූ රූකඩ නාට්‍ය විශේෂයකි. ෂම්සෙන් නම් වූ තත් 03 ක් සහිත සංගීත භාන්ඩයකින් වැයෙන සංගීතයට කතාව දිග හැරෙන්නේ ගීත තුලිනි. බුන්රකු ලාලිත්‍යය පිරි, මනස්කාන්ත රූකඩ කලාවක් ලෙස ලෝක ප්‍රසිද්ධය.




Saturday, July 8, 2017

පින්බර ඇසළ පොහොය අදයි

ඇසළ පුන් පොහොය දිනය ලක්වැසි බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොයකි. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවශ්‍රීයෙන් බබලන්නේ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම යන පුදදබිම්වල වාර්ෂික පින්කම් මාලාව සහ අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධ ජනයා බැති සිතින් සහභාගී වන නිසයි. ඇසළ පුන් පොහෝදා සිදුවූ වැදගත් සිදුවීම් පහත පරිදි ගෙනහැර දැක්විය හැකිය.

  •  සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අැසළ පොහෝ දිනකයි.
  • සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහි ගෙය කලකිරී අභිනිෂ්ක්‍රමනය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදුවන්නේත් ඇසළ පුන් පොහොය දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් ⁣බෝසතුන් ගිහිගෙය හැරයාම වලකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.  
  • ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කොට වදාලේද ඇසළ පොහෝ දිනකයි.
  • කීර්ති  ශ්‍රී රාජසිංහ රජ දවස ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදු වූයේද ඇසළ පොහෝ දිනකයි.
  • විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස්බවිසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසළ පොහෝ දිනටයි.


Thursday, June 29, 2017

රුහුණේ මහා කිවිදිය - ගජමන් නෝනා


ඇය මෙලොව එළිය දුටුවෙි 1746 මාර්තු මස 10 වන දින ය. ඒ දකුණු පලාතේ බෙලිඅත්ත නගරයේ දෝන ප්‍රැන්සිස්කු ද සේනාරත්න පෙරුමාල් මහතාට සහ මිලාගිරියේ කොන්දගමගේ දෝන ප්‍රැන්සිනා ග්‍රේරු යන ලන්දේසි දෙමාපිය යුවලට දාව ය. ඇය උපන්නේ කොලඹ බම්බලපි⁣ටියේය. පසුකාලීනව මාතර වල්පල ආශ්‍රත වේරගම්පිට ගමට පැමිණ වේරගම්පිට රජමහා විහාරය අසල තුපුපහිගෙවත්ත යන ස්ථානයේ නිවසක ජීවත් වූවාය.

කීර්ති ශ්‍රී කරතොට ධම්මාරාම හිමියන් යනු සිරිලක සාහිත්‍ය භාෂාව හා බුදු දහම යන ක්ෂේත්‍රයන්හහි ඉමහත් ප්‍රවීනත්වයක් දැරූ හිමි නමකි. එම හිමිනමගෙන් පාලි සංස්කෘත හා බුදු දහම හැදෑරීමට රුහුණේ මහා කිවිදිය වාසනාවන්ත වූවාය. එසේම ඇගේ මාමා ⁣කෙනෙකු වන පත්තායමේ ලේකම් ප්‍රකට කිවිවරයෙකි. ඔහු ඇසුරින් ද ඇය තම කවීත්වය  දියුණු කර ගත්තාය.

ඇය ගාල්ලේ තල්පෙආරච්චි මහතා සමඟ විවාහ විය. කෙටි කලකින් ඔහු මිය ගිය පසු මාතර මුහන්දිරම්වරයෙකු සමඟ විවාහ විය. කරතොට නා හිමි ඇසුරින් ප්‍රගුන කළ භාෂා ඥානයත්  නිසග කවි ශක්තියත් උපයෝගී කරගෙන කවි හරඹයේ නිරත වූවාය. ඇගේ පද්‍ය පංතීන් අතර ස්වභාව ධර්මය ඉතා මනහරව වර්ණනා කර තිබෙන ⁣දෙනිපිටියේ නුග රුක හා සම්බන්ධ පද්‍ය පංතිය සුවිශේෂී වේ. එසේම දැඩිතර ශෝභමාලය , පියාගේ මරණය, සමරසේකර ගුණවර්ධන, ගජනායක අවමගුල් වර්ණනාව, තිලකරත්න මුදලිට සෙත් පැතීම, මාතර දිසාපති ජෝන් ඩොයිලිගෙන් ආධාර ඉල්ලා යැවු සංදේශය ආදී අලංකාර පද්‍ය පංති ගණනාවක් ඇය අතින් රචනා විය. එසේම විවිධ සිද්ධීන් අලලා ඇති වූ සංවාද කවි රැසක් ද රචනා කර ඇත. උපතින් හිමි වූ තමාගේ නිසග කවි හැකියාවත්, අධ්‍යාපනයෙන් ප්‍රගුන කළ දැනුමත් ඇතිව සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය ඊට ඉමහත් සේවයක් ඉටු කලාය.


ඇය අවසානයේ ඉතා දුක්ඛිත ජීවිතයකට පත් වූවා ය. අවසන් සමයේ තම දරුවන් පෝෂණය කිරීමට පවා ඇය අපොහොසත් වූවාය. මේ නිසා ඇය මාතර හම්බන්තොට දිසාපතිවරයා වන ජෝන් ඩොයිලි මහතාට කාව්‍යමය සංදේශයක්  යවමින් ජීවත්වීමට ආධාර පැතුවාය. එම සංදේශයට ඇහුම්කම් දීමක් වශයෙන් දිසාපතිවරයා ඇය ජීවත් වූ මාතර හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෝනාගම මංසන්ධිය ඇතුළු ඒ ගම්මානය ගජමන් නෝනාට පවරා දෙන ලද්දේය. වත්මනයේ නෝනාගම මංසන්දියේ ඇය වෙනුවෙන් ප්‍රතිමාවක් ඉදිකර ඇත. එම ස්ථානයට නෝනාගම හන්දිය යැයි නම් තබන ලද්දේ ද ඇය සිහිපත් කිරීම සදහා ය. ඇය මෙරට පද්‍ය සාහිත්‍ය තුළ අමරනීය නාමයක් ඇති කලාය.

ගජමන් නෝනා කිවිදිය 1814 දෙසැම්බර් මස 15 වන දින අවසන් හුස්ම හෙලුවාය. අවසන් හුස්ම හෙලීමට සූදානම්ව මරණ මංචකයේදී ද ඇය කවියක් ලිවුවාය.

සක වසිනෙක් දහස් සත්සිය
සතිස් වස
වකලද තෙළෙස් උඳුවප්
අවඟුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල්
පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප
විදින ලෙස

Sunday, June 25, 2017

නීරෝගී දිගු කෙස් කලඹකට...


  
නීරෝගී දිගු කෙස් කලඹකට උරුමකම් කීමට ලැ⁣බෙන්නේ නම් එය වාසනාවකි. කාන්තාවගේ පංච කල්‍යාණයෙන් එකක් වන කේශ කල්‍යාණය රූමත් බවේ සංකේතයකි. තනි කරලට ගොතා නිතඹ තෙක් වැටුනු කෙස් ආසියානු කාන්තාවගේ ලාලිත්‍යය විදහා පායි.

එහෙත් වත්මන් කාන්තාව කෙස් කලඹ සම්බන්ධ ගැටලු රැසකට මුහුන දේ. අකලට කෙස් පැලීම, හිසකෙස් වැටීම, හිස්හොරි, උඳුගොව්වන් කෑම ඒ අතර වේ. මේ තත්වයන් වලක්වා ගැනීම සදහා සිදු කළ හැකි ⁣⁣ඖෂධීය ප්‍රතිකාරයන් ගැනයි මේ.

තෙල් සත්කාරය නූතන කාන්තාව අතින් සිදු නොකෙරෙන තරම් ය. මේ නිසා අකලට කෙස් වැටීම හා පැලීම සිදුවේ. එසේම හිසකෙස් ආශ්‍රිත ගැටලු මගහරවාගෙන නීරෝගී කෙස් කලඹකට උරුමකම් කීමට නම්,
  • නෙල්ලි තැම්බූ වතුර පානය
  • ඉරිවේරිය තැම්බූ වතුර පානය
  • බුළු කුඩු, උක් හකුරු සමග මුසු කොට ආහාරයට ගැනීම
  • සැවැන්සරා තැම්බූ ජලයෙන් හිස සේදීම
  • තිබ්බටු, කීකිරිදිය ආහාරයට ගැනීම            කළ හැකි ය.
හිසේ ආලේපය සඳහා,
  • වෙරලු කොළවලින් හිස සේදීම
  • කෝමාරිකා මද, බිත්තර කහ මද සමග මුසුකොට හිසේ ආලේපය
  • නිල් අවරිය කොළ කොටාගත් යුෂ හිසේ ආලේපය
  • කරපිංචා කොළ ⁣දමා රත්කර ගත් පොල් තෙල් හිසේ ආලේපය
එසේම හිස්හොරි සඳහා,
  • දෙහි ගැට, උළු හාල් තම්බා හිස සේදීම
  • ගොඩපර යුෂ ආලේපය
  • වෙරළු කොල යුෂ ආලේපය
  • වතුරේ දමා පොගාගත් උළුහාල් අඹරා හිසේ ආලේපය  
  • බිත්තර කහ මද, දෙහි යුෂ සමග මුසුකර ආලේපය
  • විනාකිරි, දෙහි යුෂ සමග මුසුකර ආලේපය


හිසකෙස්වල පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම සඳහා වත්මනයේ බොහෝ කාන්තාවන් කෘතිමව සකස් කළ ෂැම්පු වර්ග යොදා ගනී. එයින් හිස් කබලේ ස්වභාවික ක්‍රියාකාරිත්වයට බාදා ඇතිවේ. එහෙත් ශාකසාර භාවිතයෙන් නිවසේදීම ෂැම්පු වර්ගයක් සාදා ගත හැකිය.
එනම් බිත්තර කහ මදයට විනාකිරි මේස හැදි 2 ක් හා දෙහි යුෂ 5-10 ක් මිශ්‍රකර ආලේපය යි.

මේ දේවල් අනුගමනය කිරීමෙන් ඔබටත් දිගු නිල්වන් වරලසක හිමිකාරියක් විය හැකි ය.


Saturday, June 24, 2017

සැබෑ ජනතාවාදී සිනමාවේදියා - චාලි චැප්ලින්


සිනමා කලාව මෙලොවට බිහි වීමත් සමග මෙලොවට බිහිවී ලෝක සිනමාව දිග්විජය කළ සිනමාවේදියෙකු ලෙස චාලි චැප්ලින් හැදින්විය හැකි ය. ඔහු ශරීරයෙන් ඉතා කුඩා මිනිසෙකි. නමුත් ප්‍රහසන රංගනයෙන් මුලු ලොවම මවිතයට පත් කලේය. චැප්ලින් චාලිස් ස්පෙන්සර් නම් වූ ඔහු 1889 වසරේ ලන්ඩනයේ දකුණු ප්‍රදේශයේ උපත ලැබුවේය.

චාලි චැප්ලින් යන නම නොඇසූ අයෙකු මේ ධරණි තලය මත නොමැත. ඒ ඔහුගේ අපූර්ව රංගන හැකියාව නිසා ය. එසේම ඔහුගේ සෑම නිර්මාණයකම පාහේ දේශපාලනය ගැබ්ව තිබේ. එහෙයින් චාලි ජනතාවාදී නිර්මාණකරුවෙකු ලෙස හැදින්වීම වඩාත් උචිත ය. ඔහු දුගී ජනයාගේ මිතුරෙකි. ඔහු ප්‍රහසනය උපයෝගී කරගෙන සමාජයේ ප්‍රභූ පැලැන්තිය නිර්දය ලෙස විවේචනය කලේය.


චිත්‍රපට කලාවේ මුල් යුගයේ නිපදවූ සෑම චිත්‍රපටයක්ම නිහඩ චිත්‍රපට විය. එ් වනවිට චිත්‍රපට හඬ කැවීමේ ක්‍රමවේදයක් නොතිබිනි. එහෙත් චාලි මුලු චිත්‍රපටය පුරාවටම එකඳු වදනක් හෝ නොදොඩා ⁣රසිකයා ග්‍රහනය කරගැනීමට සමත් වී තිබේ. 1930 වසරේ හඩ කවන චිත්‍රපට බිහි වුවද චැප්ලින් තම රසිකයන්ගේ ආයාචනය පරිදි තවදුරටත් නිහඩ චිත්‍රපට නිපදවීය.

ඔහුගේ චිත්‍රපටවල බොහෝ විට නිරූපනය වූයේ නිවසක් නොමැති, පීඩිත පංතියේ, ඉබාගාතේ යන චරිතයකි. එම චරිත සමාජයේ ප්‍රභූ පැලැන්තියේ අවමානයට ලක්වන අයුරු නිරූපනය විය. මේ වනාහි සමාජයේ වැසී තිබූ කඩතුරාවක් විවර කිරීමකි. 1936 modern times චිත්‍රපටය මීට හොදම උදාහරණයයි. එහිදී ඔහු වීර කම්කරුවෙකුගේ චරිතයට පණ පෙවූයේ තම පංතියට ප්‍රභූ පංතිය යට කළ හැකි බව ලොවට පෙන්වමිනි. හිට්ලර්ගේ ආඥාදායකත්වයට ලොව නතු වූ කාල වකවානුවේ ඔහුට එරෙහිව චාලි තම සිනමා නිර්මාණයන්ගෙන් පහර දී තිබේ. ඔහුගේ great dictator - 1940 යන චිත්‍රපටයෙන් ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසිවාදී හමුදාව හාස්‍යයට භාජනය කොට තිබේ. එය ලොව පුරා ජනයාගේ ඇගයාමට ලක් වූ නිර්මාණයකි.


චාලි මාක්ස්වාදියෙකු විය. ඔහු ඇමරිකාවේ වාසය කළ කාලය තුළ වාමාංශික දේශපාලනයේ නියැලී තිබෙි. දුගියන් හා ධනවතුනු අතර පවතින ආර්ථික විෂමතාව ගැන ප්‍රශ්න කර තිබේ. එහි ප්‍රතිඵලයක් පලස ඇමරිකානු රජය ඔහුව පිටුවහල් කර තිබේ. ඔහුගේ චිත්‍රපට  ප්‍රදර්ශනය තහනම් කර තිබේ. එහෙත් 1972 වසරේ ඔහු යලිත් ඇමරිකාවට යයි. ඒ දැවැන්ත චලන චිත්‍ර බිහි කිරීම සදහා ඔහු දැක්වූ අප්‍රතිහත උත්සාහයට හිමි වූ ඔස්කාර් සම්මානය ලබා ගැනීම සදහා ය.

1977 චාලි මෙලොව හැර යයි. ඒ ඔහුගේ ශ්‍රී නාමය ලෝක සිනමා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරමිනි. ඊට දෙවසරකට පෙරාතුව ඔහු මානවයා වෙනුවෙන් කළ අසීමිත මෙහෙය අගයනු පිණිස "සර් චාලි චැප්ලින්" නමින් හදුන්වා ඇත.

Friday, June 23, 2017

ඩෙංගු ගැන ඔබ දැන සිටිය යුතුම කාරණා කිහිපයක්..


මේ දිනවල ඉතා වේගයෙන් පැතිරී යන රෝගී තත්වයක් ලෙස ඩෙංගු හදුන්වන්න පුලුවන්. මෙහිදී ඩෙංගු රෝගය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීමටයි මේ වෑයම.

ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ඔක්කාරය, ඇගපත වේදනාව සමඟ,

  • හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පපුව රිදීමක්
  • සමෙහි රතු ලප හට ගැනීමක්
  • මුත්‍රා පහවීම අඩු වීමක්
  • දියරමය මළපහ පිටවීමක්
  •  සෙම් ගතියක්
  • බඩ රිදීමක් සමඟ බඩ පිපුමක්
යනාදිය ද ඩෙංගු  රෝගයේ ලක්ෂණ විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.


එසේම මෙහිදී රුධිර පරික්ෂාවක් (FBC- full blood count) කර ගැනීම අනිවාර්ය වේ

  • සාමාන්‍ය පුද්ගලයෙකු නම් උණ සෑදී 3 වන දිනයේ දී                                                 
  • වයස අවුරුදු 1 ට අඩු කුඩා දරුවෙකු හෝ ගැබිණි මවක් නම් උණ සෑදී 1 වන දිනයේ දී
  • අවුරුදු 70 ට වැඩි ජේ්‍්‍යෂ්ඨ පුරවැසියෙකු නම් උණ සෑදී 2 වන දිනයේ දී  
  • නිදන්ගත රෝගයකින් පෙ⁣⁣ෙළන්නෙකු නම් උණ සෑදී 2 වන දිනයේ දී      
රුධිර පරික්ෂාව කරගත යුතු ය. එහිදී මෙම රුධිර පරික්ෂාව සාමාන්‍ය වුවත් පසු දින එම පරික්ෂාව නැවතත් සිදු කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා එම වාර්තා සැසදීම කළ යුතු ය.

ඩෙංගු රෝගියෙකු රුධිර පරික්ෂාවක් මගින් මුල් වරට හදුනා ගැනීම රුධිර පට්ටිකා අඩු වීම මගින් වුවත්⁣ රෝහල්ගත කිරීමෙන් පසුව PVC/HCT වැඩිවීම පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතු ය.


ඖෂධ භාවිතයේ දී,
උණ සමනයකරගැනීම සදහා paracetamol ඔෟෂධය පමණක් නියමිත මාත්‍රාව හා කාල පරාසයන් තුළ භාවිතා කළ යුතු ය.
උණ අඩුකර ගැනීමට ඇඟපත වේදනාවට වෙනත් කිසිදු ⁣⁣ඖෂධයක් භාවිත නොකරන්න. එම ඖෂධ ඩෙංගු රෝගය උත්සන්න වීමට බලපෑ හැකියි.
වෙනත් නොගත යුතු ඖෂධ ගැනීමෙන් උණ හා ඇගපත වේදනාව අඩු වුවත් එමගින් ඩෙංගු රෝගය බරපතල සංකූලතා ඇතිවිය හැකි ය. තවද  රුධිරය කැටි ගැසීමෙන් ඩෙංගු රක්තපාතය දක්වා වර්ධනය විය හැකි ය. හැකි ඉක්මනින් රෝගය හදුනාගැනීම/ අවශ්‍ය නම් රෝහල්ගත කිරීම හා නිවැරදි ප්‍රතිකාර තුළින් රෝගය සුව කිරීම සිදු වේ.          

Wednesday, June 14, 2017

ඔබටත් සිය දිවි නසාගන්න හිතුනද?

        

පසුගිය සති කිහිපය පුරාවටම අහන්න ලැබුණු සිය දිවි නසා ගැනීම් ප්‍රමාණය ඉතා ඉහළයි. ඒ අතරින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරියගේ සිය දිවි නසාගැනීම කාගේත් කතා බහට ලක් වුනා. මේ දේවල් අසන දකින බොහෝ දෙනා මැරුණු පුද්ගලයාට ඇගිල්ල දිගු කලා. ඒ අතර අතලොස්සක් දෙනා පමණයි විශාදය (depression) යන රෝගී තත්වය හේතුවෙන් සිය දිවි නසා ගන්නා බව තේරුම් ගෙන ඇත්තේ.

සැබවින්ම විශාදය යනු කුමක්ද? විශාදය යනු දිගු කාලිනව පවත්නා දොම්නස් සහගත මානසික තත්වයක්. දිගුකාලීන දොම්නස හේතුවෙන් හට ගන්නා මානසික අවපීඩනය කාලයත් සමග "සායනික විශාදය" නමින් හැදින්වෙන මානසික රෝගී තත්වයට පෙරලිය හැකි ය. මේ හේතුවෙන් සියදිවි නසා ගැනීම්, දිවි නසාගැනීමට තැත් කිරීම්, තමාටම හානි කර ගැනීම් යනාදිය සිදු කරගත හැකි ය. මේවා සිදුවන්නේ ප්‍රතිකාර ලබා නොගන්නා විශාද රෝගීන් අතරය.

විශාදයේ මූලික රෝග ලක්ෂන කිහිපයක් හදුනාගත හැකි ය. ඒවා නම්,

  • දුක්බර බව
  • කිසිදු බලාපොරොත්තුවක් නැති බව
  • වරඳකාරී හැගීම්සහිත බව
  • හුදකලා බව
  • කිසිදු වැඩක් පිළිබද සතුටක්, අවශ්‍යතාවයක් නොමැති බව
  • කිසිවකට අවධානය යෙදිය නොහැකි බව
  • තීරනවලට එළඹීමට නොහැකි බව
  • තමාට හානි කරගැනීමට සිත් වීම
  • මතට ඇබ්බැහි වීම
  • ශක්තියෙන් අඩු බව
  • ශාරීරික වේදනාවන් ඇති වීම
  • ආහාර අරුචිය
  • නින්ද නොයාම
  • එදිනෙදා වැඩ අතපසු කිරීම 
එසේම විවිධ හේතු සාධකයන් බලපෑ හැකි ය.
ඒ අතර,

  • දිගුකාලීන ආතතිය නිසා ඇතිවන මානසික අසහනය
  • ආදරය, සෙනෙහස අහිමි වීම
  • පුද්ගලයා ලොව දකින ස්වභාවය අනූව ද 
විශාදය රෝගය වැලදිය හැකි ය. එසේම යම් යම් සමාජ විද්‍යාත්මක සාධක ද විශාදයට පාර කපයි. ඒ අතර,

  • දීර්ඝ කාලීන ශාරීරික රෝග
  • අධික ලෙස මත්පැන් භාවිතය
  • විරැකියාව
  • අන්තර් පුද්ගල සබදතා බිදී යාම
  • බරපතල ලිංගික අතවරයන්ට මුහුණ පෑම
යනාදිය මෙන්ම ජානමය බලපෑම සහ වෙනත් මානසික රෝග හේතුවෙන් ද විශාදය රෝගය ඇතිවිය හැකි ය.

මෙවන් රෝගීන් කඩිනමින් මනෝ වෛද්‍යවරයෙකු හෝ අවම වශයෙන් මනෝ උප⁣දේශකවරයෙකු වෙත යොමු වීම ඉතා වැදගත් වේ. එහිදී විශාදය සදහා,

  • මනෝ චිකිත්සාව
  • රසායනික ⁣⁣ඖෂධ ප්‍රතිකාර
  • විද්‍යුත් ප්‍රතිකාර ක්‍රම 
වශයෙන් විශාදය ඇති විට මනෝ චිකිත්සක ප්‍රතිකාර, ක්‍රියාශීලී දිවි පෙවෙතකට හුරු කිරීම, ව්‍යායාම සදහා යොමු වීම මගින් රෝගය වලක්වා ගත හැකි ය.


විශාදයෙන් පසු අවධීන් හී දී මනෝ චිකිත්සක ක්‍රම පමණක් නොව ඖෂධ සදහා යොමු කරවයි. නොකඩවා මාස කිහිපයක් මෙම ඖෂධ ලබාගත යුතු වේ.

උග්‍ර විශාද රෝගීන් සුව කිරීම සදහා විද්‍යුත් ප්‍රතිකාර පවා වෛද්‍යවරුන් නිර්දේශ කරයි.

විශාද රෝගීන් අප අතරත් සැගව සිටිය හැකිය. ඔවුන් හදුනාගෙන නිසි ප්‍රතිකාර සදහා යොමු කරවීම ඔවුන්ට කළ හැකි ලොකුම උපකාරයයි.


Tuesday, June 13, 2017

ගීයක වතගොත

ඇය යන්න ගියා මැකිලා...


සඳ පායපු රැයක, ඔබ තනිවූ මොහොතක, සුළඟට සෙලවෙන තුරු මුදුන් දෙස බලාගෙන මෙම ගීතය රස විදින්න. අත්දැකීම ඔබේම කර ගන්න. තම ප්‍රියයාගෙන් වෙන් වූ විට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකි වේවි ඔබට.

ගීතයක් හෝ වේවා වෙනත්  කලා නිර්මාණයක් හෝ වේවා එතුළ විප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත්වල ගැඹුරුම තැන් ස්පර්ෂ කරයි. සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද අමරසිරි පීරිස් ගයන "ඇය යන්න ගියා මැකිලා" ගීතය අනෙකුත්  විලාපයන් අතර රසික හදවත් සසල කරවන  කලා නිර්මාණයක් ලෙස
හැදින්විය හැකි ය.

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ඒ වෙන්වීම සදාකාලික වේ නම් වේදනාව තවත් ප්‍රබල වේ.   රචකයා මෙම වෙන්වීම කලාත්මකව ඉදිරිපත් කරනු වස් රමණීය පරිසරයක් මවයි.

         
           වන සිරසක තුරු  සෙවනැලි අතරේ
           ගී ගයමින් හිඳ මා තුරුලේ
           ඈ යන්න ගියා මැකිලා

පෙම් සුව විදින අවදියේ ඔවුන් ගත කළ සුන්දර නිමේෂයන් දෘෂ්‍යගෝචර අයුරින් ඉදිරිපත් කිරීමට රචකයා උත්සුක වී තිබේ. ඇගේ මැකී යාම ඇය මෙලොවින් සමු ගැනීමකි.

             පිණි කදුලක් මල් පෙති අඟ රඳවා
             මීදුම් සළුවෙන් මුහුන වසා

සුදුරෙදි කඩකින් ඇගේ මුහුණ වැසී යාම රචකයා දකින්නේ මීදුම් සලුවකින් ඇගේ මුහුණ වැසී යාම මෙන්ය. එසේම ප්‍රේමයේ සුන්දරත්වය කියා පෑම සඳහා වන සිරස, මල් පෙති, පිනි කදුල යනාදී යෙදුම් යොදාගෙන තිබේ.

සිරි ගුණසිංහයන්ගේ,

              මා හැරදා දරදඩු කොට මා අත් පා
              අැය යන්න ගියා මැකිලා

යන පද්‍ය නිර්මාණයෙන් ලද ආභාසය මත සුනිල් සරත් පෙරේරා මෙය රචනා කලේ යැයි ඔබට හැගෙනු ඇත. එහෙත් පද්‍ය නිර්මාණයේ ඇති ගොරෝසු බව ගී පද රචනයේ නැත.



ඇය ජීවත් වූ කාලයේ  ඇය ඔහුගේ ජීවිතය ප්‍රේමයෙන් මුසපත් කොට ඇත.  මේ දැන්ද ඔහුට ඒ මතකයන් සිහිපත් කළ හැකි ය. කඳුලු අතරින් ඒ සොදුරු මතකය ඔහුට සිහිපත් වෙි.
 
                නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
                සඳ එළියේ මං පෙත  පාදා
                රහසක් සඟවා ගොලු වූ හඳකින්
                යන්න ගියා මැකිලා

ජීවිතයේදී මිනිසුන්ට නොයෙක් අභාග්‍යමත් අවස්ථාවන්ට මුහුණ පෑමට සිදු වේ. මෙය ද එවැනි අභාග්‍යමත් විප්‍රයෝගයකි. ස්වභාවධර්මය හා බැදුනු නොයෙකුත් උත්ප්‍රේක්ෂාලංකාර යොදා ගනිමින් රචකයා තම සංවේදනා සිතුවම් කරයි.

              යලි කවදාවත් හමු නොවනා බව
              මඳ පවනක් හිස අතගා කීවද
              අඳහා ගන්නට නොහැකිය කිසිවිට
              ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර

ගීත රචකයා, සංගීතවේදියා සේම ගීතය ගායනා කළ අමරසිරි පීරිස්  මෙම ගීතයට තම උපරිම සාධාරණය ඉටු කළ බව කිව යුතු ය. ගීතයේ පද මාලාවේ ඇති ශෝකී රස සංගීතය සමඟ මැනවින් බද්ධ කර ගැනීමය එච්.එම් ජයවර්ධනයන්ට හැකි වී තිබේ. ඒ ඔහුගේ ප්‍රිය බිරිද මාලනී බුලත්සිංහලයන්ගේ වියෝව සිදු වූ ආසන්න කාලයේ මෙහි තනුව නිර්මාණය වූ නිසා වන්නට ඇත.

ප්‍රේමය හැම විටම ශෝකය උපදවයි, යන අනිත්‍ය ධර්මය ගීතය පුරා අන්තර්ගත වේ.
 
           

Saturday, June 10, 2017

යානි




"යානි" යන නමින් සුප්‍රසිද්ධ සංගීතවේදියාගේ සංගීතාංගයකට සවන් නොදුන් යමෙක් වෙි නම් එ් ඉතා කලාතුරකිනි. රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන්වල, වෙළද දැන්වීම්වල තේමා වාදනයට, පසුබිම් වාදනයට "යානි" සංගීතාංග ප්‍රචාරය කෙරේ. කුඩා දරුවන් අතර පවා යානි ඉතා ජනප්‍රිය වේ. ඔහුගේ සංගීතාංග මහත් ආශාවෙන් නරඹති. ඒ ගැන සංවාද කරති. එහෙත් සැබවින්ම යානි යනු කවරෙක්ද? ඔහුගේ සංගීතය කෙබදුද?යන්න පිළිබදව දැනුමක් ඇත්තේ සුළුතරයකට වේ

යානි නමැති සංගීතවේදියාගේ මූලික නාමය යානීස් හ්‍රයිසොමලිස් ය.  මොහු උපන්නේ ග්‍රීසියේ කලමටා නගරයේ වන අතර යානි මනෝ විද්‍යා උපාධිදරයෙකි.

යානිගේ නිර්මාණ සදහා විවිධ රටවල් නියෝජනය කෙරෙන වාදන හා ගායන ශිල්පීන් සම්බන්ධ වී තිබීම සුවිශේෂත්වයකි. එමගින් මෙම නිර්මාණවල දැකිය හැකි විශේෂත්වය වන්නේ "විවිධත්වය තුළ දැකිය හැකි එකඟතාවය" යි (diversity).



මොහු කෙරෙන් පිළිඹිබු වන ශෛලීන් අතර "ක්‍රොස් ඕවර්" (crossover)," නවයුග" (new age), "සමකාලීන වාද්‍ය සංගීතය" (contemporary instrumental) යනාදිය දැකිය හැකි ය. එසේම යානිගේ ඇතැම් නිර්මාණ සදහා සම්භාව්‍ය සංගීතවේදීන්ගේ ආභාසය ලැබී ඇත. උදාහරණ ලෙස' standing in motion' නමැති සංගීතාංගය දැක්විය හැකි ය. එය "මොසාර්ට්" ගේ සංගීතාංගයකට සමානකම් දක්වයි.

යානිගේ සංගීතය සංකීර්ණතාවය (complexity), තර්කය (logic) පිළිබඳව නොවන බවත් එය චිත්තවේග (emotions) සහ සන්නිවේදනය (communication) පිළිබඳව බවත් යානි ප්‍රකාශ කරයි. යානිගේ අදහස වන්නේ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළ හැකි වීම, ඔවුන් අනුප්‍රානය කිරීම, යහපත් මනෝභාවයන් තැබීම සංගීත සංරචකකෙුගේ ජීවිතාර්ථය බව යි.

Friday, June 9, 2017

රුහුණු පුර සොබා රූ කොමලිය ; කන්නෙලිය

කන්නෙලිය හෙවත් පුංචි සිංහරාජය නමින් හදුන්වන රක්ෂිත වනය ගාල්ල නගරයේ පිහිටි ඉහළ ජෛව විවිධත්වයකින් යුත් වනයකි.

ගාල්ල උඩුගම මාර්ගය ඔස්සේ හෝ දක්ෂිණ ලංකා අධිවෙිගී මාර්ගය බද්දේගම පිවිසුම් මඟ හරහා උඩුගමට පැමිණ,  උඩුගම සිට හිනිදුම දක්වා දිවෙන මාර්ගයට ඔබ්බෙන් පිහිටි නන්නිකිත ඇළ දක්වා දිවෙන කුඩා පටු මාර්ගය ඔස්සේ ගමන්කරන විට කන්නෙලිය රක්ෂිත වනය හමුවේ.

කන්නෙලියේ අතීතය රජ සමය දක්වාම දිව යයි. විජයබාහු රජතුමා සහ සෝලීන් අතර මෙම ප්‍රදේශවල සටන් පැවති බව ජනප්‍රවාදවල සදහන් වෙි. කන්නෙලිය යන්න "කන්‍ය එළිය" යන්නෙන් බිදී ආ බව ඇතැමුන් විශ්වාස කරන අතර, වලගම්බා රජු මෙම ප්‍රදේශ ආශ්‍රිතව සැගවී සිටි කාලයේ කුසගින්නේ සිටි කතකට තම බත්පත ලබා දී "කන්න ලිය" යැයි පැවසූ ස්ථානය කන්නෙලිය වූ බව ඇතැම්හු පවසති.

වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 1934 කන්නෙලිය වනය රක්ෂිත වනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එසේම 1990 දී මෙය රක්ෂිත වනයක් ලෙස නම් කර තිබේ. 2004 දී UNESCO ආයතනය මගින් මෙය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.

කන්නෙලිය වනයේ සුවිශේෂත්වය ගැන අවධානය යොමු කිරීමේදී කඳු හා නිමිනවලින් යුත් 60-425m උච්චත්වයකින් යුත් කන්නෙලිය වනයේ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ.

එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වයක් හමුවන්නේ ද මෙතුලයි. එනිසා මෙම වනය ජෛව විවිධත්ව උණුසුම් කලාප හෙවත් bio diversity hot spot ලෙස හදුන්වයි. වනාන්තරය අලුතින් වැඩුනු ශාකවලින් යුත් ද්විතීය වනාන්තර දක්නට ලැබේ.

කන්නෙලිය වනය තුළ ශාක වර්ග ගණනාවක් දක්නට ලැබේ. මින් 25% ක් ලංකාවට ආවේනික ශාක වර්ග වේ. එසේම කන්නෙලිය වනයේ ඉහළ සත්ව විවිධත්වයක් දක්නට ලැබේ. පක්ෂි විශේෂ, ක්ෂීරපායි විශේෂ, උභය ජීවී විශේෂ, උරඟ විශේෂ ගණනාවක් දැකගත හැකි ය.

සංචාරකයන්ට ඉතා හොදින් මෙම අත්දැකීම විද ගැනීම සදහා වනාන්තරය තුළ සොබාවික මංපෙත් නිර්මාණය කර තිබේ. ඒ අතර ගුහාව මංපෙත, යෝධ පුස්වැල මංපෙත, නාරංගස් ඇල්ල මංපෙත යනාදිය හදුන්වා දිය හැකි ය.

වනයට ඇතුලු වී මීටර් කිහිපයක් යන විට රක්ෂිතයෙන් ගලා එන ස්වභාවික නාන තටාකයක් හමුවේ. එසේම වනාන්තරය මැදින් වැටී තිබෙන මාර්ගය ඔස්සේ ගමන් කරන විට මංපෙතට පහලින් පිහිටා  තිබෙන වවුල් ලෙන ඔස්සේගමන් කිරීම සැබවින්ම නැවුම් අත්දැකීමකි. එයින් මතුවු පසුව වනයේ සුන්දරම දිය ඇල්ල වන අනගිමල ඇල්ල දැකගත හැකි ය.
අනගිමල ඇල්ල පසුකර මද දුරක් යන විට හෙක්ටයාරක පමණ භූමි ප්‍රමාණයක පැතිරුන යොධ පුස්වැල දැකගත හැකි ය. මෙය සිංහරාජයේ පුස්වැලට පමණක් දෙවැනි වේ. ඉන් එහාට තවත් 5km යන විට යෝධ නවඳ ගස දැක බලාගත හැකි ය. මෙය ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. මද දුරක් ගිය තැන අඩි 200 ක් උසින් නාරංගස් ඇල්ල හමුවේ.

මීට අමතරව පිහිටි මංපෙතක් ලෙස කබ්බලේකන්ද ඇල්ල තරණය කළ හැකි වෙි. එය ද ඉතා මිහිරි අත්දැකීමක් වන අතර එහි මුදුනේදී රමණීය ගාල්ල නගරය දැකගත හැකි ය.

Monday, June 5, 2017

ජගත් පරිසර දිනය



ජගත් පරිසර දින සැමරුම් ආරම්භ කෙරුණේ, 1972 වර්ෂයේදී ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීම සමග ය.

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වූයේ, ලොව වටා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය ⁣කෙරෙහි වන දේශපාලන අවධානය හා ක්‍රියාකාරීත්වය වැඩි කිරීම ය.

සැබවින්ම පරිසරය යනු කුමක්ද? "මා නොවන සියල්ල පරිසරය" වන බව අයින්ස්ටයින් පවසා තිබේ. "වාතය, ජලය හා භූමියට අදාල සමාජ හෝ සියල්ලම පරිසරය" වන බව බ්‍රිතාන්‍ය පරිසර ආරක්ෂණ පනත පෙන්වා දේ.



මානවයා ද පරිසරයේම කොටසකි. ඔහු සොභාදහම තමාට උවමනා ආකාරයෙන් පාලනය කිරීමට ගත් උත්සාහය හේතුවෙන් දැන් දැන් ස්වභාවික ආපදාවන් බහුල වී තිබේ. සොභාදහමේ එම අනතුරු ඇගවුම් වටහාගෙන සොභාදහම සමඟ යහපත් සබඳතාවයන් ගොඩනගා ගැනීමට කාලය එලඹ තිබේ.

මෙවර පරිසර දිනයේ තේමාව වන්නේ "සොභාදහම හා බැදුනු ජනතාවක්" යන්නයි. එමගින් මානවයා පරිසරය හා තව තවත් සමීප කරවමින් පරිසර හිතකාමී ජීවන මාදිලීන් හා චර්යාවන් පුරුදු පුහුණු කිරීමට අපේක්ෂා⁣ කෙරේ.

Sunday, May 28, 2017

ජපන් හයිකු කවිය

හයිකු යනු ජපන් පද්‍ය සම්ප්‍රදායකි. හයිකු කවියක ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි කෙටි බවයි. එය වචන කිහිපයකට සීමා වෙි. එ⁣සේම හයිකු කවියට සුවි⁣ශේෂී වූ නීතිරීති කිහිපයක් තිබේ.


මෙහිලා හයිකුවේ ආරම්භය පිළිබඳ ව අවධානය යොමු කළ හැකි ය. කවි ගනනාවකින් සමන්විත ජපන් කවි පංතියක් "රෙංගා" හෝ "රෙංකු" යන නමින් හැදින්වේ. පළමු කවිය හැදින්වූයේ "හොක්කු" යන නමිනි. "හොක්කු" යන ජපන් වචනයේ අර්ථය පළමු කවිය යන්නයි. හයිකුවේ අද ඇති නීතිරීති බොහොමයක් ⁣හොක්කු කවියට ද අදාල විය.
දහ හත්වන සියවසේ ජපන් කවියෝ හොක්කු කවි, කවි පංතියක පළමු කවිය වෙනුවට තනි නිර්මාණ වශයෙන් යොදා ගැනීමට පටන් ගත්හ. මෙම තනි හොක්කු හැදින්වූයේ හයිකු යන නමිනි.

හයිකු බිහි කිරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කලේ "මත්සුවෝ බාෂෝ" විසිනි. ඔහු හයිකු කවියේ පියා ලෙස සැලකේ. එසේම එතෙක් මෙතෙක් බිහිවු විශිෂ්ටතම හයිකු කවියා ඔහු ය.

හයිකුවකට පාදක වන්නේ යමිකිසි එක මොහොතක හෙවත් ක්ෂනයක සිදුවන සිදුවීමක් හා ඒ අනූව ඇතිවන චිත්ත සංඥාවකි. හයිකුවක යටි පෙළක්, සැඟවුනු අරුතක්, සමාජයට දෙන පණිවිඩයක් හෝ උත්ප්‍රාසයක් නැත. යම් කිසි සිදුවීමක් දකින කවියා ඒ අනූව ඇතිවන චිත්ත සංඥාාව

කවියට නගයි.
එක් මොහොතක සිදුවන සිදුවීමක් අරමුනු කරන හයිකු සෙන් බෞද්ධ සම්ප්‍රදායේ බිහි වූවකි. මෙි වනාහි භාවනාවකි.
මත්සුවෝ බාෂෝ විසින් රචිත "පැරණි පොකුණ" නම් හයිකුව විශිෂ්ට හයිකුවකි.

"ෆුරුසිකෙ යා
කවාසු තොබිකොමු
මිසු නො චතො"

එහි අරුත වන්නේ,

"පැරණි පොකුණ;
ගෙඹි පිනුමක්
වතුරෙ හඬ

යන්නයි.

සිතේ මවාගන්න. පැරණි පෙඳ පාසි ගැවසුනු නිසල පොකුණක්. දැන් එක විටම ගෙම්බෙක් පොකුණට පනී. ජලය කැලඹී හඩක් නිකුත් කරයි.

එපමණකි. ඊට එහා දෙයක් හයිකුවේ නැත.


Saturday, May 27, 2017

ජීවන වේදිකාවෙන් බැස ගිය මහා කලාකරුවානෝ



                                        

සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , කලා විචාරකයෙකු ලෙස ප්‍රකට නමක් දිනා සිටි මහාචාර්ය සිරි ගුණසිංහ මැයි මස 25 වන දින අභාවප්‍රාප්ත විය. කලක් කැනඩාවේ ජීවත් වූ සම්මානනීය මහාචාර්යවරයා මිය යන විට 97 වන වියේ පසුවිය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සිය ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කල ඔහු කලක් එහි සිංහල අංශයේ ද දේශකයෙකු විය.
තම පලමු නවකතාව වූ 'හෙවනැල්ල' මගින් සමාජ සංවාදයක් ගොඩනැගීමට සිරි ගුණසිංහයෝ සමත් විය. එම නවකතාව ශ්‍රී ලංකාවේ මහා නවකතාකරුවන් කීප දෙනා අතර සිය නම රැදවීමට මහත් පිටුවහලක් විය.
1960 දශකයෙහි ඇතැම් විචාරකයන් විසින් සිරි ගුණසිංහ ' ශ්‍රී ලංකාවේ පංච මහා නවකතාකරුවන්ගෙන්' එක් නිර්මණකරුවෙකු ලෙස ලේඛනගත කරනු ලැබ ඇත.
පසු කාලයේදී සිය සිනමා ජීවිතය ආරම්භ කළ සිරි ගුණසිංහයන්ගේ සම්මානනීය එකම චිත්‍රපටය "සත් සමුදුර" වේ. එසේම සිරි ගුණසිංහයන් "රන්වන් කරල්" නමින් කෙටි චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කර ඇත.
එ⁣සේම සිරි ගුණසිංහයන් කවියෙකු ලෙසද සිංහල සාහිත්‍යයට ඉමහත් සේවයක් ඉටු කර තිබේ. "අභිනික්මන" සහ "මස් ලේ නැති ඇට" වැනි පද්‍ය සංග්‍රහ මගින් ඔහු හදුන්වා දුන් නිදහස් පැදි ආර පසු කාලයේ නිසදැස් කවියට පාර කැපීමක් විය.
පසු කාලයේ ඔහු සිංහල කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ වන වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය ටෙලි වෘත්තාන්තයක් බවට පත් කලේ ය.

Monday, May 22, 2017

ශ්‍රී ලංකාවේ සිනමා පුරාණය








 
ශ්‍රී ලංකීය සිනමාව යනු ශ්‍රී ලංකාවේ නිශ්පාදිත චිත්‍රපට අඩංගු සිනමාවයි. එය ආධුනික ව්‍යාපාරයක් ලෙස 1947 කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පටන්ගත් දා සිට අද දක්වා සිටගැනීමට බලවත් උත්සාහයක් දරන්නකි.ශ්‍රී ලංකීය චිත්‍රපට සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් නිශ්පාදනය කෙරේ.

පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමැති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අැතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
බඹරු අැවිත් චිත්‍රපටයෙන් 1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක් ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අැවිත් හා අහස් ගව්ව වැනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, පවිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිදසුන් වේ.

ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගැටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විෂයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.





Top of Form

x

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...