Tuesday, June 13, 2017

ගීයක වතගොත

ඇය යන්න ගියා මැකිලා...


සඳ පායපු රැයක, ඔබ තනිවූ මොහොතක, සුළඟට සෙලවෙන තුරු මුදුන් දෙස බලාගෙන මෙම ගීතය රස විදින්න. අත්දැකීම ඔබේම කර ගන්න. තම ප්‍රියයාගෙන් වෙන් වූ විට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකි වේවි ඔබට.

ගීතයක් හෝ වේවා වෙනත්  කලා නිර්මාණයක් හෝ වේවා එතුළ විප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත්වල ගැඹුරුම තැන් ස්පර්ෂ කරයි. සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද අමරසිරි පීරිස් ගයන "ඇය යන්න ගියා මැකිලා" ගීතය අනෙකුත්  විලාපයන් අතර රසික හදවත් සසල කරවන  කලා නිර්මාණයක් ලෙස
හැදින්විය හැකි ය.

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ඒ වෙන්වීම සදාකාලික වේ නම් වේදනාව තවත් ප්‍රබල වේ.   රචකයා මෙම වෙන්වීම කලාත්මකව ඉදිරිපත් කරනු වස් රමණීය පරිසරයක් මවයි.

         
           වන සිරසක තුරු  සෙවනැලි අතරේ
           ගී ගයමින් හිඳ මා තුරුලේ
           ඈ යන්න ගියා මැකිලා

පෙම් සුව විදින අවදියේ ඔවුන් ගත කළ සුන්දර නිමේෂයන් දෘෂ්‍යගෝචර අයුරින් ඉදිරිපත් කිරීමට රචකයා උත්සුක වී තිබේ. ඇගේ මැකී යාම ඇය මෙලොවින් සමු ගැනීමකි.

             පිණි කදුලක් මල් පෙති අඟ රඳවා
             මීදුම් සළුවෙන් මුහුන වසා

සුදුරෙදි කඩකින් ඇගේ මුහුණ වැසී යාම රචකයා දකින්නේ මීදුම් සලුවකින් ඇගේ මුහුණ වැසී යාම මෙන්ය. එසේම ප්‍රේමයේ සුන්දරත්වය කියා පෑම සඳහා වන සිරස, මල් පෙති, පිනි කදුල යනාදී යෙදුම් යොදාගෙන තිබේ.

සිරි ගුණසිංහයන්ගේ,

              මා හැරදා දරදඩු කොට මා අත් පා
              අැය යන්න ගියා මැකිලා

යන පද්‍ය නිර්මාණයෙන් ලද ආභාසය මත සුනිල් සරත් පෙරේරා මෙය රචනා කලේ යැයි ඔබට හැගෙනු ඇත. එහෙත් පද්‍ය නිර්මාණයේ ඇති ගොරෝසු බව ගී පද රචනයේ නැත.



ඇය ජීවත් වූ කාලයේ  ඇය ඔහුගේ ජීවිතය ප්‍රේමයෙන් මුසපත් කොට ඇත.  මේ දැන්ද ඔහුට ඒ මතකයන් සිහිපත් කළ හැකි ය. කඳුලු අතරින් ඒ සොදුරු මතකය ඔහුට සිහිපත් වෙි.
 
                නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
                සඳ එළියේ මං පෙත  පාදා
                රහසක් සඟවා ගොලු වූ හඳකින්
                යන්න ගියා මැකිලා

ජීවිතයේදී මිනිසුන්ට නොයෙක් අභාග්‍යමත් අවස්ථාවන්ට මුහුණ පෑමට සිදු වේ. මෙය ද එවැනි අභාග්‍යමත් විප්‍රයෝගයකි. ස්වභාවධර්මය හා බැදුනු නොයෙකුත් උත්ප්‍රේක්ෂාලංකාර යොදා ගනිමින් රචකයා තම සංවේදනා සිතුවම් කරයි.

              යලි කවදාවත් හමු නොවනා බව
              මඳ පවනක් හිස අතගා කීවද
              අඳහා ගන්නට නොහැකිය කිසිවිට
              ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර

ගීත රචකයා, සංගීතවේදියා සේම ගීතය ගායනා කළ අමරසිරි පීරිස්  මෙම ගීතයට තම උපරිම සාධාරණය ඉටු කළ බව කිව යුතු ය. ගීතයේ පද මාලාවේ ඇති ශෝකී රස සංගීතය සමඟ මැනවින් බද්ධ කර ගැනීමය එච්.එම් ජයවර්ධනයන්ට හැකි වී තිබේ. ඒ ඔහුගේ ප්‍රිය බිරිද මාලනී බුලත්සිංහලයන්ගේ වියෝව සිදු වූ ආසන්න කාලයේ මෙහි තනුව නිර්මාණය වූ නිසා වන්නට ඇත.

ප්‍රේමය හැම විටම ශෝකය උපදවයි, යන අනිත්‍ය ධර්මය ගීතය පුරා අන්තර්ගත වේ.
 
           

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...